ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

සිප් සතරින් දරුවන් පෝෂණය කරන ගුරුවරු දෙවිවරුන් වැනිය. තමන් දන්නා දේ ගුරු මුෂ්ටියක් නොතියා දරුවන්ට කියා දෙන්නේ ද ගුරුවරයාය. යහපත් ගුණධර්ම උගන්වමින් දරුවන් යහමඟට ගැනීමට දරන වෙහෙස දන්නේ ගුරුවරු ම පමණි. එම කාර්යයෙහි ලා වරදට දඩුවම් කිරීම, අවවාද කිරීමට ඔවුන් කිසි විටෙකවත් පසුබට වන්නේ නම් නැත. මන්ද යත් නැණවත් ගුණවත් රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නිසාවෙනි.

ඉතින් තමන්ගෙන් දඩුවම් ලැබූ ශිෂ්‍යයෙකුගේ ගුණ පිළිබඳව ගුරු සිතක ඇති වූ අදහස ප්‍රදීපිකා පතිරාජ මෙසේ කියයි.  


නොබලා ඔබේ ඇස් දෙක 

බිම බලාගෙන හැරී යමි 

ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ

අසමත් ම ගුරුවරිය ලෙස 


තමන් කොතෙක් නැණ නුවනින් පොහොසත් දරුවෙක් රටට භාර දෙන්නට ක්‍රියා කළත් ඔහු නොවේ හැදුනේ. නමුත් ගුණ යහපත් කම් වලින් හිඟයක් නැති දරුවෙක් බිහි කිරීමට ගුරුවරයා සමත් වී තිබේ. කොහොම නමුත් ශිෂ්‍යයාගේ මෙම ක්‍රියාව ගුරුවරියගේ හද තුල යම් ශෝකයක්, කණගාටුවක් ඇති කරවීමට සමත් වී තිබේ. මන්දයත් ඔහුගේ ගුණ පිළිබඳව එකල අයට හඳුනා ගැනීමට නොහැකි වී ඇති නිසාය. එසේ හඳුනා ගත්තේ නම් ශිෂ්‍යයාව උගතෙකු කිරීමට ඇය පසු බසින්නේද නැත. 


දී යතුර මා අතට දණ නවා වඳිනා විට 

යකුළු පහරක් වැදී දෙපළු විය පුතේ මා හදවත 


පසුම්බිය අරිනා විට 

සල්ලි මොකටද ටීච

ඕනේ වේලක එන්ඩ 

කියමින් මජං අත පිහදන වැඩියෙන්ම ගුටිකාපු අසමත් ම ශිෂ්‍යයා නුඹ


අනෙක් අතට තමාට ගුරුහරුකම් ලබා දී, දඩුවම් ලබාදී, තමාව දැනුමෙන් පෝෂණය කල තම ගුරුවරයාට කිසිදු අමනාපකමක් නොමැතිව ගුරු භක්තියෙන් ඒ අවස්ථාවේ පිළිසරණක් වීමට එම ශිෂ්‍යයාට හැකි විය. තමන්ට අවැසි නම් ඒ මොහොතේ කිසිදු උපකාරයක් නොකොට හෝ තම කාර්යයට මුදල් අයකර ගුරුවරිය නොසලකා හැරීමට හැකි වුණත් ශිෂ්‍යයකු වශයෙන් ඔහු කළ ක්‍රියාව අගනේය.

හුළං නැති ස්කූටරය තල්ලු කරගෙන එනකොට

ළඟටම දිව විත් ඇයි ටීච මක් විද විමසන

විනාඩියකුදු නො යවා ගෙන සකලවිධ ආයුධ 

මා නොකී අඩුපාඩු සොය සොයා සාදන 


ගුරු භක්තිය පිළිබඳව මෙම කවිය තුළින් පතිරාජයන් විසින් මනාව පිළිබිඹු කර ඇත.කුඩා කල සිට පන්තිය තුළ අධ්‍යාපන කටයුතු වලදී දුර්වල වී සිටි, තමන්ගෙන් දඬුවම් ලැබූ ශිෂ්‍යයා කර උස් මහත් වී, ගුණ ධර්ම වලින් පෝසත් ඉළංධාරියෙකු වී සිටින අයුරු මෙසේ කවියට නඟා ඇත. කෙසේ හෝ තම ශිෂ්‍යයාගේ ගුණ පිළිබඳව ගුරුවරයාට මෙලෙස හෝ අඳුරා ගැනීමට හැකිවීමත් සතුටුදායක කරුණකි. වර්තමානය වන විට ගුරු මුෂ්ටිය තබා ගෙන දරුවන් පිළිබඳව කිසිදු කැක්කුමක්, උනන්දුවක් නැති ගුරුවරුන් ද, නැහැදිච්ච, නොහික්මුණු කළගුණ නොදත්, ශිෂ්‍යයන් ද සිටිනා සමාජයක පතිරාජ කිවිඳිය විසින් හරබර ඔවදනක් ලබා දීමට උත්සාහ කර තිබීම සතුටට කරුණකි.

ඉතින් තමාගෙන් ඉගෙන ගත් පන්තියේ අඩුම ලකුණු හිමි ශිෂ්‍යයා පසු කලෙක තමන්ට උපකාරයක් අවැසි මොහොතේ නොපසුබටව එය කර දුන් අතර අවසානයේ කල කාර්යයට ගතමනාවක් ද නොගෙන තම දෙපා වැඳ ආශිර්වාද ගත්තේය. නමුත් ගුරුවරයාට ඔහුගේ මෙම මහත්මා ගතිගුණ කුඩා කල දී අඳුරා ගැනීමට නොහැකි විය. ඇයට ඒ පිළිබඳව යම් කණගාටුවක් සිත තුළ ඇතිවිය. ඒ වගේම මෙම ශිෂ්‍යයා ගුරුතුමියගෙන් කොතරම් ගුටි කෑවත් තම ගුරු භක්තිය ඉදිරියේ ඒ සියල්ල අමතක කොට ඇයට උපකාර කළේය.

නිසදැස් ආකෘතියට ලියැ වී ඇති මෙම පද්‍ය පන්තිය යම් ඔවදනක් සමාජයට ලබා දෙයි. වර්තමානය වන විට මෙවැනි ආකාරයේ පද්‍ය පන්ති බිහි නොවීම කණගාටුවට කරුණකි. විකාර - බයිලා සින්දු ඇති යුගයක මෙවැනි ආකාරයේ කාව්‍ය පන්තියක් රසවිඳීමට ලැබීමද අගනේය. සිංහල භාෂාවේ ප්‍රගමනයටත්, හරවත් රසවත් කාව්‍ය පන්ති නිර්මාණය කිරීමටත්, ජාතියක් වශයෙන් අප කටයුතු කළ යුතු වෙමු. එහිදී ප්‍රදීපිකා පතිරාජයන්ගේ මෙම උත්සහය අගය කළ යුතු වේ.



Comments

Post a Comment

Popular posts from this blog

මන්දාරම

යෙහෙළියක වී..